Sunday, December 13, 2009

දනෝ කති බොති යති










දනෝ කති බොති යති
උදම් අනති
වරුණාවම වමාරති
මුළු අරලිය ගහ මැදුරම සාජ්ජයකි.

නළු නිළියන්, සිසු දරුවන්
විනිසුරුවන්, ගුරුවරයින්
ඇවිදින් යති.
ඇති පමනට කති බොති
වරුණාවම වමාරති

එනමුදු උන්
හෙට යළි ගෙට ගිය තැන් සිට
සම්බෝලයි බතුයි කියා
හොඳින් දනිති

Saturday, December 5, 2009

(ස්වා)දීන රූපවාහිනී














සවසට බලන විට
ලේ කිළි පොලන දසුන් ය.
සිංහල පද අරුත්
පෙරලූ උමතු යකුන් ය.

රෑට යයි 'තුලාව'
තරාදිය එක් පසක් හිස්වම
එය මෙහෙයවන්නෙ
ආසන සංවිධායක.
පැය ගනන් කහිමින්
මිහිඳු ගුණ කඳ දමයි වමනය.

ඊට කලියෙන් ප්‍රවෘත්ති
නිලෙන් ඇස් ගෙඩි උගුලන
'අපි නොදන්න ලයිව්' මෙන්
මිනිසුන් හිනා ගස්සන.

ඊලඟට 'විපරම'
හෙළුවෙ ලස්සන පෙන්නන.

'පාමන්කඩ', 'මැදවච්චිය'
දිනකට සත්වරක් කියවන
'තොප්පිගල කැලේ' සිටි
අලින් විතරක්ම පෙන්වන.

අලි වල්ගෙම එල්ලෙන්න
අපට උල්පන්දම් දෙන
පාරාවලල්ලක් වුණ
දීන හෙළුවාහිනිය.

Thursday, August 20, 2009

බාල සඳ...



මළ බාල සඳ ගැන
කවි ලියූ දුදනන්ට
අවි පෙන්වූ දනන් ය
දේශාභිමානයෙන් මත් වූ.
 
"මිය ඇදුනු සිංහළුන්
ගැන කවි නොලී උන් හට
ජාතියේ ශාපය
උරුම කරනට තැතනූ."
 
"හිමි සාමනේර වරු
මිය ඇදෙන විට තැන තැන
ගොළුව ගිය - අත ඇති
පන්හිඳ ගැනම මිමිණූ."
 
බිණු දහසක් මුව මැද
ගොලුවුණ එක මුවක් විය.
මළ පුතු ගැන තැවෙන
නුඹ සැම තවම නුදුටූ...
 
-----------------------------

යුද බිම මළ පුතුටත්
බාලචන්ද්‍ර පුතුටත්
දෙපියවුරෙන් කිරි දෙන...

හෙට උපදින
බාල සඳට
සිය කුස තුල 
උපදින්නට
ඉඩ කඩ දෙන....
එපමණ නොව
උපදින අප සැම පුතුණට
කිරිමව වන....

-----------------------------

හවසට ගෙට ගොස්
බෙදා අතට දෙන
බත් පත වලඳන
සිහල පුතණුවනි...

උයා කන්න දෙන
ඇගේ දෙපා වැඳ
සමාව ගත් යුතු
නොවේද තොප සැම.

Tuesday, August 11, 2009

ආයෙ හෙට එන්නම් මම....
















එපා ගලවන්න...
උඹ දුරින් ඉඳපන්
මට එපා ඔය කිසිවක්.

අමුතු හැඟීමක් නෑ මට
උඹ ගැන.

රාගයක්වත්, ආදරයක්වත්
අඩු තරමේ ආශාවක්වත්
දැනෙන් නෑ මට
ඔය හෙළු කය ලඟ.

ඉඳා මේ දාහ
කන්න දීපන් පොඩි උන්ට.

ආයෙ හෙට එන්නම් මම...

Tuesday, July 28, 2009

ඒත් අපි සතුටිනුයි ඉන්නේ...















තල්-පොල් හිනා වෙන්නේ
උතුරට බසුත් යන්නේ
ගෑස් මිල වැඩි වෙන්නේ
ඒත් අපි සතුටිනුයි ඉන්නේ

කොටස් මිල වැඩි වෙන්නේ
රට සශ්‍රීක වෙන්නේ
කුලී ගේකයි ඉන්නේ
පොලුත් අපි කඩයෙනුයි ගන්නේ

යුරෝපෙට කෙළ වෙන්නේ
රස්සාව නැති වෙන්නේ
මොකටද හඬන්නේ
ලක්ෂයක් ආමියට ගන්නේ

අපි හිඟා කන්නේ
ණය බරින් මිරිකෙන්නේ
ඒත් නෑ දුක් වන්නේ
අපිටත් රජෙක් ඉන්නේ

දැන් රෑ 8 ප්‍රවෘත්ති











අහෝ! නැතිකොට
ජාතිවාදයෙ
රතු සෝස්....
කිසිම රසයක් නෑ
ඇඟට අල්ලන්නෙත් නෑ.

Sunday, July 26, 2009

මම මලක් තමයි














මම මලක් තමයි
නුඹ කී දේ සැබැයි.

සුවඳ විඳ ඇති තරමට
ඉවත ලූ පෙති පොඩි කර.
මම මලක් තමයි.

නුඹේ නමටම පෙම් කර
තවම හඬනට නොහැකිව
පොලව පස් යට මියදෙන
මම මලක් තමයි.
නුඹ කී දේ සැබැයි.

අන් මල්වල සුවඳ
විඳ විඳ පිනන නුඹ දැක
තවම කඳුලක් නොහෙළුව
මම මලක් තමයි.

හිත රිදවුණු විටෙක
මා අසලට වී හඬන
මා නොහඬන කරුණු විමසන
නුඹට....
නුඹට වෙර නොබඳින
මම මලක් තමයි.
නුඹ කී දේ සැබැයි.

Friday, June 19, 2009

මධුසමය...
















දුහුල් තිරෙන් එබී
මුවෙක් වගේ බියෙන්
බලන්නෙපා සඳේ
මගේ දිහා ඉතින්

නොදන්න බව සැබැයි
අප අප ගැන සොඳින්
දෙමාපියන් සිතුම්
ඉටුකළ උන් මිසක්

මඟුල් මුදුව අතේ
පැලඳුව මුත් ළඳේ
නුඹ නිදහස් තවත්
කිරිල්ලියක් වගේ

ආගන්තුක සිතක්
හඳුනන්නට සොඳින්
කාලය තව බොහෝ
අවශ්‍ය බව දනිම්

එහා කොනේ ඇඳේ
සැතපෙන්නම් මමත්
ඉවත බලන් වුවත්
නිදන්න නුඹ තුටින්

Wednesday, June 17, 2009

ප්‍රභාවතී නොකී කව











කටු යහනකැයි නුඹ අවමන් කෙරුවාට
ප්‍රභාවතී හැඬුවේ නෑ කිසිදාක
නුඹෙ හද මඩලෙ ඇති විස කටු දුටුවාට
ප්‍රභාවතී ගොළු වූවා හැමදාම

සංකර ලොවේ පෙම්බර මගෙ හිත රිදුනේ
නුඹ දුටු පසුව එය නුඹ ලඟමයි රැඳුනේ
නොකල වරදකට ඇයි නුඹ දොස් නැඟුවේ
මෙතුවක් කල් ගොසින්දෝ නුඹ කටු දුටුවේ

පවලම් පොටින් ගිලිහුන බව දැන දැනම
නුඹමයි ඇවිත් රැඳුනේ තරු ඇස ගාව
රොන් ගෙන බමරු සැඟවෙයි ඝන අඳුරේම
මල්වල තමයි පව බමරුයි පින්කාර...!

Thursday, May 28, 2009

දඩබ්බරයා සහ මල් කැකුල












මල් පෙති මත
සමනලුන්ගෙ තොල්පෙති විය.
බමර තුඩින් රිදුණු
පුංචි සලකුණු විය.
අන් සුරතක නුඹෙ දෑඟිලි
සුරතල් විය.

කාට උණත් නුඹෙ අයිතිය
දිනයක මම
නුඹ අල්ලා ගෙන සිපගමි.
උදුරාගෙන පළා නොයමි.
මගෙ තොල්පෙති නුඹෙ
මල්පෙති මත තවරමි.
එපමණ ඇති.

Monday, May 25, 2009

සිංහ කොඩිය



















දෙමළ, මුස්ලිම්
වෙන වෙනම කූඩු කර
කඩුවක් අතට දී
තබා සිංහයෙක් එහි මුරට
නුඹයි මුල පිරුවෙ ජාතිවාදයට
මේ පුංචි සිරිලක් බිම.

Saturday, May 23, 2009

රතිඤ්ඤා වෙළෙන්දාගේ උදාන වාක්‍යය
















මෙදා අවුරුද්දත්
අන්තිම සවුත්තුයි.
එකෙක් නෑ හරි හමන්
රතිඤ්ඤා අර ගත්තු.

අනේ එක පාරටම
පාත්වුණ ඉල්ලම
කියන ගානට ගන්න
ඒවි උන් පෝලිමේ.

ප්‍රභා තව බොහෝ අය වාගේම
උඹ නිසා ගොඩ ගිය
තව එකෙක් තමා මම.

අඹු දරුන් කුසගින්නෙ හඬන විට
උඩ බලන් හූල්ලපු මට
උඹ තමා වසන්තය ගෙනාවේ.

ඒත්...
එකදු එක රතිඤ්ඤාවක්වත්
පත්තු කළේ නෑ මම
උඹ මළ සතුටට...

Friday, May 22, 2009

මරණය









ප්‍රභාකරන් මළ සතුටට
රබන් ගසා කිරිබත් කා
ඒ මරණය අපි කරගත්තා රමණය
හෙට දහසක් ප්‍රභාකරන්ලා උපදන.

උතුරට යන නෑදෑ ගමනුත් අතහැර
කුසගින්නේ මියෙන්න ඉඩ දී කොටිකැළ
පිට කෙරුවා තිස් වසරක් බැඳි වෛරය
දකුණ පුරා දන්සැල් දී මඟ දිගටම

කොටි මරන්න දළදාවට වුණ භාරය
ඔප්පු කරන්නට යනකොට කිරිබත් ගෙන
දන්ත ධාතුවත් අරගෙන හොර රහසෙම
පූජාසනයෙන් බැසගොස් ඇත හිමිසඳ.

Thursday, May 14, 2009

අයි.පී.එල්....










බලමි
නොනැවත බලමි
ක්‍රිකට් අතර
ඉඳහිට දකින තුරු
නෙත පිනන
නුඹෙ නැටුම්.....

Wednesday, May 13, 2009

රූපවාහිනිය....












වෙඩි හඬට මදුරුවන් සේ මියෙන
රුපුන් ගැන අඩු වැඩිය දිග හරින

හෙට තනන ජාතියේ සොහොන් ගෙට
නිතර ඔළුගෙඩි ගනින....

සිංහලෙන් විතරක්ම කතාවෙන
අන්ඩර දෙමළ නොතේරෙන

පපු කැහුතු නැතිවම
මැද සාලෙ රෑ අටට ලේ ගලන

දුප්පත්කම නිසා
තවමත් පොලවෙ නොගැසුව

ජාතියේ රුධිරවාහිනිය

දෙවැනි කසාදය











අන් සතුව දුර ඇති විට
පිනවයි ගත.
උමතු කරයි සිත
අයිති කර ගන්නමයි හිත....

බලි තොවිල් අණවින කොට
පලවා දුක බෙදාගත් යක් දොස
ගෙන ආ විට ගෙට.....

කිසිම වෙනසක් නෑ
පුරුදු තිත්ත රසමයි.
අපුලම දැනෙයි මට...

Friday, May 8, 2009

මගේ කවිය...










වෙනදා මෙන් අදත්
නුඹ ගැන ලියන්නට
පන්හිඳ අතට ගත්තෙමි.

නුඹ ගැන ලියන පද
හෙට ඇය දුටුවොතින්
ජංජාලයකි
නිසැකවම ඇවිලේ ගිණි

පුරුදු ලෙසටම මම
ලියමි කවියක්
මතුපිට ඇගේ රූ සිරි තැවරුණ
ඇතුලත...
නුඹේ තෙත සිත සැඟවුණ...

ගොවි ගීතය....










බොල් කරලේ ණය ගෙවන්න
දූට අරුන්ගල් ගෙනෙන්න
පියා සැළු විහඟ රජුණි
කිම නුඹ අද නෙතු පියාන

දහසක් පැතුමන් පුරාන
නුඹ එන තුරු මග බලාන
උන් අඹු දරුවන් සනසන
ගීතයක්ද කණකොක් හඬ

කනේරු මල් ගහ පාමුල
තිබිණි නුඹේ මුදු හදවත
දූගෙ කරේ පලන්ඳන්න
කඳුළු බිංදු දෙකක් එක්ක

Thursday, May 7, 2009

බිරිඳ...











නුඹ නැති විට ලඟ
නුඹ නැති වග දැන
නිදහස-පාළුව දැනේ
මුසුව මට....

ඒ නිදහස විඳ
මිටින් මුදාහල
විහඟකු විලසට
පියඹනු බෑ මට...

නුඹ නැති පාළුව
සිතේ තුරුළු කොට
ගුලි වී යහනත
නුඹ හෙට එන තුරු
ඇඟිලි ගනිමි මම

Tuesday, May 5, 2009

නිළියකට පෙම් බැඳ....









තරු වැටෙන කොට බිම
ගිලිහී අහස් වියනෙන්
සඳ හිටියා නිහඬවම
සිතමින්
'තව තරු කෙතරම් තියේද මට...!'

සඳ දන්නෙ නෑ
ඒ හැම එක තරුවක්ම
කොයිතරම් නම් ආදරෙයිද සඳට...

අන්සතු නුඹ...









නුඹ අන්සතු වුවහොත්
මා ලෝකයට වැඩ බැරි මිනිසෙකු වනු ඇත.

නුඹ මා සතු වූවා නම්
මා ලෝකයට මෝඩයෙකු වනු ඇත.

මා වැඩබැරි මිනිසෙකු වුවද
මෝඩයෙකු වුවද
නුඹ මට හිමි නොවනු ඇත

මෝඩයෙකු නොවී මට නුඹ රැක ගත හැකි මගක්
ඇත්තෙම නැද්ද?

Friday, April 24, 2009

මුදු පළඳවන සුබ මොහොතේදී ය....












නාඳුනන මා හිමි සඳ
නුඹට නොකියා බැරිය මේ වත....

අද රෑ යහන අභිමුව
සිතින් ඔහු රුව මවමින
ඔබ සමඟ යෙදෙමි රමණය....

සුබ ලකුණු නැති යහනත
හඬන්නට නම් බෑ මට....

නුඹටම හිමි ඉඩක් නැති
නුඹට එනමුත් ඉඩ ඇති
පා ලකුණු රැඳි යහනට
නගින්නට සිත් දේ නම්
පළඳන්න ඔය මුදුව මා අත....

Wednesday, April 22, 2009

බාල බොලඳ පෙම්වතියට...














යන්න ඔබ.... 
ඉහලටම, ආකහේ ගෑවෙන්න
වලාකුළු අතරින්.... 
සිනාසී මග දිගට හමුවන සැමටම...
බලා ඉන්නම් මම නිහඬවම

මමත් ඔය වගෙමයි... ඉස්සර
ඇහුවෙ නෑ කවුරුවත් කිව් දෙයක්...  

උඩු හුලඟින් ගිලිහී බිම වැටුනම...
පිහදාගෙන කදුළු 
අපි යමු ඇවිදින්න... 
අත්වැල් බැඳගෙන  

පෙන්නන්නම් මම 
පැල්ලම් තවමත් තියනව බිම 
මම වැටුණු තැන්වල.

Sunday, April 19, 2009

කඳුළු තොටුපළ












කඳුළු තොටුපළින් සමුගෙන යන්නම් 
බිඳුණු සිත පමණක් අරන් 
මටම හිමිනැති සිතක විරහේ 
කඳුළු බර ඇයි මේ තරම්

මසිත තෙත් කළ සිහිල් දිය බිඳ 
සබඳ ඒ ඔබගේ සෙනේ 
පිපාසිත හැම දෙතොලටම නුඹ 
කිමද දිය බිඳුවක් වුණේ

අමාවක සිඳ අහස් කුස සඳ 
නැගෙන්නට පෙර පෙති ලිහා 
කුමුදිනිය නුඹ තරු කොපුල් මත 
හාදු තවරා හිනැහුණා

Saturday, April 11, 2009

ආදරයේ ඇදුරුතුමිය


අ' යනු 'ආ' යනු 
කියනු වෙනුවට 
සඥ්ඥක මූර්ධඡ අතරේ 
සිර කෙරුවේ ඇයි මගෙ සිත