තාමත් තරුණ හිත යට
හිමින් ගොණු කර තියා
හසරැල්ලක පහස....
දල්වාගෙන නෙත් පහන
බලා ගෙන ඉඳ ඇඳ ළඟ
කළුවරට ඉඩ දී නුඹ යයි
පුතු අතින් එල්ලාගෙන....
නොහලා එකම කඳුලක්
මට පෙනෙන්නට..
හැමදාටම නුඹ ළඟ - ගොළුයි මම
කියා ගන්නට බැරිව
සිව් වසකින්;
තිස් වසරකට ගොණු කල
මගේ කවි...
ගෙන දී වේදනා..
හිස යට වැඩෙන මස් දලු
තෙරපන විට නහර....
නුඹ වුවණ - පුතු මදහස
සිහින් එළියක් පෙන්වයි
කළුවරම මේ ඉම තුළ.
සසර මඟ වල් වැද සිටි මට...
නුඹ දෙපල මිස
කවුරුන්ද.....?
පෙන්වූයේ පහන් ටැඹ
හැමදාම හවසට
නුඹ ගිය පසු
ඇවිදින් ඇඳ ළඟට
තනි රකියි මරණය
කතා කරයි - යන්න...
වේදනා නැති ලොවකට
සිහිව....
හෙට උදේ ඇඳ ළඟට එන නුඹ නෙත
විදිමි මේ වේදනා තව තව
නැත හඬන්නට කාරන
නුඹ වුවණ - පුතු මදහස
සිහින් එළියක් පෙන්වයි
කළුවරම මේ ඉම තුළ.
ඇති බොහෝ ඇසූ පිරූ තැන් - කියවූ පොත් නොහැර එකක්
මිනිසුන් බොහොමයක් නුඹ වන්
මහමග පසෙක ඇති - පුංචි පඳුරක් දැක
මවා ගෙන මහ ගසක්
සිතා අහුරාවි යැයි මඟ
වනසනු සිතා එය
හැපෙයි ඒ මත...
පුංචිම කුහුඹුවා - දැක එය
සිනාසී පිළිගෙන
යයි ඒ පඳුර මඟහැර
උගෙ ගමන...
එන්න එක දවසක
අපි යමු අතහැර දමා - මේ සැම...
එක් පාඩමක් ඇත තව ඉගෙනගන්නට...
පොත පතේ ලියන්නට බැරි වුන.
ඇල දොල ගහකොළ
මදනළ
විතරමයි දන්නේ එය...
ඉගෙන ගන්නා තුරු එය
සම්පූර්ණ නෑ ජීවිතය..