මියැදෙන තරමටම
උපදින සිහින අපමණ
කඳුලැළි පිස දෙනෙත
නවමු හැඟුමන් පුබුදන
අනෙක හැඟුමින් ගැබ්බර
එහැම සිහිනයකම
යටි සිත ඉරි තළන
රිදුම් දෙන හැඟුමක් විය.
අදට වැඩි කළුවර
හෙටක තනිකර මගෙ සිත
දුරක ගිය රහසෙම
සොඳුරු හසරැල්ලකි එය
ගලපනු නොහැකි කවි පද
සකසා පිළිසකර කර
මිහිරි කවියක් නිමැවූ
සොඳුරු වූ ගැහැණිය ඇය
එළිවැට බිඳුණු කවියට
තනි රකිණු රිසියෙන
තවමත් සොහොන් පාමුල
තබා එමි මගෙ සිත
පසුදින දකිමි
තැළුණු පොඩිවුණු සිත
හඬණු කුමටද
නුඹේ පා සලකුණු දැක
ලස්සන මල් ගැනම නිතරම කවි ලියපු
අත්තෙන් අත්ත පැන මල් වල සුව විඳපු
තිත්තම මලක තුඩ පැටලී තටු සිඳුණු
සෙල්ලක්කාර බමරෙකි මම නුඹ හැඳිණූ
ලස්සන මල් පිපුණු මහවැලි ගං ඉවුරේ
හන්තානේ හැපී හිරු මිය ගිය අඳුරේ
පෙති විහිදුවාගෙන මා ලඟ උන් මිහිරේ
අද නුඹ දුටුව විට හඳුනන්නද කෙලෙසේ
අතකින් එල්ලගෙන පොඩි පුතු කටු ගැසුණ
පසෙකින් හිමි සඳය සසරේ දුක කියන
අහසේ සරුන්ගලයකි අතකින් මිදුණ
දුහුවිලි තට්ට්ටු යට හුරු සුවඳම රැඳුණ
රෑ තරු කැට අතර රැඳි මල් සුවඳ මරා
රුව ගුණ දොවා ගෙන එය පොඩි පුතුට පොවා
මම සුව විඳි යහන මත පොඩි පුතුව හොවා
තව පරපුරක් වෙනුවෙන් නුඹ දියව ගියා
කෙළිලොල් වියේ සරසවියේ වීදි දිගේ
තහනම් ගසේ ගෙඩි කෑ මුත් රසට රසේ
මරණ තුනක් මැද නොමැරී මැරෙන මඟේ
අත ලෙව කන්ටවත් දඬු බෑ මොටද නගේ