Thursday, January 30, 2020

විමලේ.......


වැඩ ඇරී ගෙදර ආවම
තේ එකක් ළඟට ගේන්න
හිසරදේ හැදී නිදද්දි
පැනඩෝල් දෙකක් පොවන්න

මඟ හැරුණු දේ බෝමයි
මට තිබුණ ටිකක් හිතන්න...

කොයි තරම් පැන් ලූවත්
මල් පිපෙන් නැති පඳුරක
අපි අහපු අර කතාව
සැබෑ වේ යැයි සිතුණි ද...?

සුදු පැහැ ගැණුනු කෙස් රොද
සසර මඟ සිහි කෙරුණි ද...?
උදුරපු පණු දතක්වත්
කළකිරීමක් දුන්න ද...?

වැඩ වැඩියි ඔලුව විකාර
වචන වරදිනව නිතරම
ඒ උණත් විමලෙ තාමත්
උඹ නිසයි පපුව ගැහෙන්නෙ

ජීවිතේ දුර්ග විමානෙ
බෑ නොකිය කන්ද නගින්න
ආයෙමත් එන්න විමලේ
සාරියේ කට්ට ගහන්න....

Sunday, September 15, 2019

ජීවිතය


තාමත් තරුණ හිත යට
හිමින් ගොණු කර තියා
හසරැල්ලක පහස....
දල්වාගෙන නෙත් පහන
බලා ගෙන ඉඳ ඇඳ ළඟ
කළුවරට ඉඩ දී නුඹ යයි
පුතු අතින් එල්ලාගෙන....
නොහලා එකම කඳුලක්
මට පෙනෙන්නට..
 
හැමදාටම නුඹ ළඟ - ගොළුයි මම
කියා ගන්නට බැරිව
සිව් වසකින්;
තිස් වසරකට ගොණු කල
මගේ කවි...
 
ගෙන දී වේදනා..
හිස යට වැඩෙන මස් දලු
තෙරපන විට නහර....
නුඹ වුවණ - පුතු මදහස
සිහින් එළියක් පෙන්වයි
කළුවරම මේ ඉම තුළ.

සසර මඟ වල් වැද සිටි මට...
නුඹ දෙපල මිස
කවුරුන්ද.....?
පෙන්වූයේ පහන් ටැඹ
 
හැමදාම හවසට
නුඹ ගිය පසු
ඇවිදින් ඇඳ ළඟට
තනි රකියි මරණය
කතා කරයි - යන්න...
වේදනා නැති ලොවකට
 
සිහිව....
හෙට උදේ ඇඳ ළඟට එන නුඹ නෙත
විදිමි මේ වේදනා තව තව
නැත හඬන්නට කාරන
නුඹ වුවණ - පුතු මදහස
සිහින් එළියක් පෙන්වයි
කළුවරම මේ ඉම තුළ.

Thursday, May 16, 2019

පාඩමක් ඇත තව, පොත පතේ ලියන්නට බැරි වුන

        
 


















 
ඇති බොහෝ ඇසූ පිරූ තැන් - කියවූ පොත් නොහැර එකක්
මිනිසුන් බොහොමයක් නුඹ වන්
මහමග පසෙක ඇති - පුංචි පඳුරක් දැක
මවා ගෙන මහ ගසක්
සිතා අහුරාවි යැයි මඟ
වනසනු සිතා එය
හැපෙයි ඒ මත...
 
පුංචිම කුහුඹුවා - දැක එය
සිනාසී පිළිගෙන
යයි ඒ පඳුර මඟහැර
උගෙ ගමන...
 
එන්න එක දවසක
අපි යමු අතහැර දමා - මේ සැම...
එක් පාඩමක් ඇත තව ඉගෙනගන්නට...
පොත පතේ ලියන්නට බැරි වුන.
 
ඇල දොල ගහකොළ
මදනළ
විතරමයි දන්නේ එය...
ඉගෙන ගන්නා තුරු එය
සම්පූර්ණ නෑ ජීවිතය..

Wednesday, December 5, 2018

ආපසු හැරී බැලූවෙමි මම....




















 
තරඟයට වැද....
ගිණි ගැණුනු බිම
ගිමන් බිඳකුදු
නොලද්දෙමි මම....

ඇඟිලි අතරින්
සෙමින් ගිලිහී..
බිමට වැටෙනා
බොහෝ දෑ මැද

නුඹත් මාගෙන්
මිදී ගොස් වග
මෙතක් වනතුරු 
නොදුටුවෙමි මම....

හෙටත් ආයෙත්
පායන්න සඳ....
මටත් බිඳුවක් 
සිනා අරගෙන....

මග වැටී බිම
මියෙන්නට යන
පුංචි කුමුද්ද
අහුලගමි මම....

Sunday, August 26, 2018

අසම්මත පෙම


                    අසම්මත වෙන්න ඇති
සම්මතය බිඳ දමා
පටලවා ගත් නිසා අපේ අත්.....
 
ඒ වුනත්...

සම්මතය රැකගන්න
බිඳගත්තෙ
කවුරුන් ද
සෙනේ සිත්.....