Monday, January 25, 2010

සිහින...


මියැදෙන තරමටම
උපදින සිහින අපමණ
කඳුලැළි පිස දෙනෙත
නවමු හැඟුමන් පුබුදන
 
අනෙක හැඟුමින් ගැබ්බර
එහැම සිහිනයකම
යටි සිත ඉරි තළන
රිදුම් දෙන හැඟුමක් විය.
 
අදට වැඩි කළුවර
හෙටක තනිකර මගෙ සිත
දුරක ගිය රහසෙම
සොඳුරු හසරැල්ලකි එය
 
ගලපනු නොහැකි කවි පද
සකසා පිළිසකර කර
මිහිරි කවියක් නිමැවූ
සොඳුරු වූ ගැහැණිය ඇය
 
එළිවැට බිඳුණු කවියට
තනි රකිණු රිසියෙන
තවමත් සොහොන් පාමුල
තබා එමි මගෙ සිත
 
පසුදින දකිමි
තැළුණු පොඩිවුණු සිත
හඬණු කුමටද
නුඹේ පා සලකුණු දැක
 

Wednesday, January 6, 2010

පරණ මල


ලස්සන මල් ගැනම නිතරම කවි ලියපු
අත්තෙන් අත්ත පැන මල් වල සුව විඳපු
තිත්තම මලක තුඩ පැටලී තටු සිඳුණු
සෙල්ලක්කාර බමරෙකි මම නුඹ හැඳිණූ
 
ලස්සන මල් පිපුණු මහවැලි ගං ඉවුරේ
හන්තානේ හැපී හිරු මිය ගිය අඳුරේ
පෙති විහිදුවාගෙන මා ලඟ උන් මිහිරේ
අද නුඹ දුටුව විට හඳුනන්නද කෙලෙසේ
 
අතකින් එල්ලගෙන පොඩි පුතු කටු ගැසුණ
පසෙකින් හිමි සඳය සසරේ දුක කියන
අහසේ සරුන්ගලයකි අතකින් මිදුණ
දුහුවිලි තට්ට්ටු යට හුරු සුවඳම රැඳුණ
 
රෑ තරු කැට අතර රැඳි මල් සුවඳ මරා
රුව ගුණ දොවා ගෙන එය පොඩි පුතුට පොවා
මම සුව විඳි යහන මත පොඩි පුතුව හොවා
තව පරපුරක් වෙනුවෙන් නුඹ දියව ගියා
 
කෙළිලොල් වියේ සරසවියේ වීදි දිගේ
තහනම් ගසේ ගෙඩි කෑ මුත් රසට රසේ
මරණ තුනක් මැද නොමැරී මැරෙන මඟේ
අත ලෙව කන්ටවත් දඬු බෑ මොටද නගේ
 

Sunday, December 13, 2009

දනෝ කති බොති යති










දනෝ කති බොති යති
උදම් අනති
වරුණාවම වමාරති
මුළු අරලිය ගහ මැදුරම සාජ්ජයකි.

නළු නිළියන්, සිසු දරුවන්
විනිසුරුවන්, ගුරුවරයින්
ඇවිදින් යති.
ඇති පමනට කති බොති
වරුණාවම වමාරති

එනමුදු උන්
හෙට යළි ගෙට ගිය තැන් සිට
සම්බෝලයි බතුයි කියා
හොඳින් දනිති

Saturday, December 5, 2009

(ස්වා)දීන රූපවාහිනී














සවසට බලන විට
ලේ කිළි පොලන දසුන් ය.
සිංහල පද අරුත්
පෙරලූ උමතු යකුන් ය.

රෑට යයි 'තුලාව'
තරාදිය එක් පසක් හිස්වම
එය මෙහෙයවන්නෙ
ආසන සංවිධායක.
පැය ගනන් කහිමින්
මිහිඳු ගුණ කඳ දමයි වමනය.

ඊට කලියෙන් ප්‍රවෘත්ති
නිලෙන් ඇස් ගෙඩි උගුලන
'අපි නොදන්න ලයිව්' මෙන්
මිනිසුන් හිනා ගස්සන.

ඊලඟට 'විපරම'
හෙළුවෙ ලස්සන පෙන්නන.

'පාමන්කඩ', 'මැදවච්චිය'
දිනකට සත්වරක් කියවන
'තොප්පිගල කැලේ' සිටි
අලින් විතරක්ම පෙන්වන.

අලි වල්ගෙම එල්ලෙන්න
අපට උල්පන්දම් දෙන
පාරාවලල්ලක් වුණ
දීන හෙළුවාහිනිය.

Thursday, August 20, 2009

බාල සඳ...



මළ බාල සඳ ගැන
කවි ලියූ දුදනන්ට
අවි පෙන්වූ දනන් ය
දේශාභිමානයෙන් මත් වූ.
 
"මිය ඇදුනු සිංහළුන්
ගැන කවි නොලී උන් හට
ජාතියේ ශාපය
උරුම කරනට තැතනූ."
 
"හිමි සාමනේර වරු
මිය ඇදෙන විට තැන තැන
ගොළුව ගිය - අත ඇති
පන්හිඳ ගැනම මිමිණූ."
 
බිණු දහසක් මුව මැද
ගොලුවුණ එක මුවක් විය.
මළ පුතු ගැන තැවෙන
නුඹ සැම තවම නුදුටූ...
 
-----------------------------

යුද බිම මළ පුතුටත්
බාලචන්ද්‍ර පුතුටත්
දෙපියවුරෙන් කිරි දෙන...

හෙට උපදින
බාල සඳට
සිය කුස තුල 
උපදින්නට
ඉඩ කඩ දෙන....
එපමණ නොව
උපදින අප සැම පුතුණට
කිරිමව වන....

-----------------------------

හවසට ගෙට ගොස්
බෙදා අතට දෙන
බත් පත වලඳන
සිහල පුතණුවනි...

උයා කන්න දෙන
ඇගේ දෙපා වැඳ
සමාව ගත් යුතු
නොවේද තොප සැම.